පවුල කියන්නේ අපේ සමාජයේ පුංචිම ඒකකය. නමුත් මේ පුංචි පවුල තුළින් ඇති වෙන සාමය, සහජීවනය අනාගතයේදී සමාජයේ සංහිඳියාව ඇති කිරීමට තරම් ප්‍රබල ශක්තියක් වෙනවා . ඒ නිසාම පවුලක බිරිඳ, අම්මා, සහෝදරිය, මිත්තණිය, ලේලිය, නැන්දම්මා කියන කාන්තා චරිත ඉතාම වැදගත් .
ගැටුමක මූලාරම්භයත් ඇය විය හැකියි…
සාමාන්‍යයෙන් අපි කියමනට වුණත් නැන්දා-ලේලි ගැටුම, ඒ වගේම නෑනාලා අතර ඇති වෙන ගැටුම් ගැන සඳහන් කරනවා . නමුත් ඒවා අපි පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන යා යුතු සම්ප්‍රදායන් නොවේ. කොහොම වුණත් අද වෙන විට නම් පවුල් අතර තිබෙන නැන්දම්මා-ලේලි අරගල බොහෝදුරට අඩු වී තිබෙනවා. බොහෝ නැන්දම්මලා ලේලියත් තමන්ගේ දියණිය වගේම පිළිගන්නා අවස්ථාවන් තිබෙනවා. ඒ අතරම සහෝදරයාගේ බිරිඳ සමග ඉතාම සමීප සම්බන්ධතාවයන් පවත්වා ගෙන යන නෑනාවරුන්ද අප අතර ඕනෑ තරම් සිටිනවා. ඒ නිසා මෙම චිරාගත සම්ප්‍රදායට අනුව කාන්තාවන් විසින් වෛරය සහ ගැටුම ඉදිරියට ගෙන යා යුතු නැහැ.
කාන්තාවගේ ප්‍රතිචාර ඉතාම වැදගත්…
පවුල තුළ ඔබ තවමත් නව යොවුන් වියේ පසුවෙන දියණියක් විය හැකියි. එසේත් නැත්නම් බිරිඳක, මවක හෝ නැන්දණියකගේ භූමිකාවේ සිටිනු ඇත. මේ කොතැනක සිටියත් ඔබ පවුල සමග ගොඩනගා ගන්නා සංහිඳියාව ඉතාම වැදගත්. නිතරම ඔබ ගැන පමණක් නොසිතා මේ වහල යට ජීවත්වෙන සාමාජිකයන් ගැනත් අවධානය දක්වන්න .
ඇහුම්කන් දෙන්නිය විය යුත්තේ ඔබයි…
පවුලක වැදගත් චරිතයක් ලෙසින් ඔබ හොඳ සවන්දෙන්නියක් වෙන්න. ඔබගේ ඇහුම්කන් දීම පවුලේ අයට වචනයෙන් කියා ගත නොහැකි බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු සපයනු ඇති . පවුලේ ප්‍රශ්නවලදී ඔබත් එහි හවුල්කාරියක් වෙන්න. ඒවාට විකල්ප විසඳුම් ගැනත් ඔබගේ මට්ටමින් අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්න. සක්‍රිය සවන්දීම නිසා පවුලක බොහෝ ගැටුම් පුපුරා යෑමට පෙරාතුවම විසඳා ගැනීමට හැකියාව ලැබෙනු ඇති.
සවන්දීම සක්‍රිය විය යුතුයි…
පවුලක් තුළ ඔබ සවන්දෙන්නියක් වූවාට මදි . එය සක්‍රිය සවන්දීමක් වීම වැදගත්. තවත් කෙනෙකු කියන දෙය මේ කනින් අසා අනිත් කනින් පිට කරන්නේ නම් ඔබ සැබෑම සවන්දෙන්නියක් වන්නේ නැත. සමහර විට ඔබ සවන්දෙන්නියක් ලෙසින් සිටියත් ඒ වෙනුවෙන් වූ සක්‍රිය දායකත්වයක් නැත්නම් පවුලක් තුළ සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම අපහසු වේ.
සවන්දීමෙන් ප්‍රතිචාර…
පවුලේ සාමාජිකයෙක් ඔබට යමක් කියන්නේ සැබැවින්ම ඒ ගැන ඔබෙන් ප්‍රතිචාරයක් අපේක්ෂාවෙන් බව මතක තබා ගන්න. ඒ නිසා නිතරම ඔබේ ප්‍රතිචාර යහපත් වීම වැදගත්. ඔබගේ සවන්දීම තවත් පුද්ගලයෙකුට යහපත් මානසික ප්‍රතිචාරයක් වෙනු ඇත. ඉතාම සරලව කිවහොත් සියදිවි නසා ගැනීමේ අදහස් ඇති පුද්ගලයෙකු පවා යහපත් සවන්දෙන්නෙකු සමග සමීපව සම්බන්ධ වුණොත් ඒ පුද්ගලයාගේ සියදිවි හානි කර ගැනීමේ සිතුවිලි පවා නොදැනීම දුරස් වෙන තරමටම යහපත් වූ ප්‍රතිචාර ලැබෙනවා. පසුගිය වසරේ විශ්වවිද්‍යාල සිසුවෙක් ඔහුගේ කාමරයේ තබා ගිය සටහනක මෙසේ ලියා තිබුණි:
“මගේ කතාව අසන්නට කවුරුන් හෝ මුණනොගැසුණොත් මගේ සිරුර මහවැලි ගඟෙන් හමුවිය හැක…”
ඔහු නේවාසිකව සිටියත් සමහර විට පවුලේ අය සමග එදා කතාබහ කිරීමට අවස්ථාවක් ලැබුණේ නම් මේ මානසික සිතුවිල්ල ඔහු වෙතින් දුරස් වීමට ඉඩ තිබුණා.
එදා ඔහුට වුණු දෙය අද හෝ හෙට අපට, අපේ පවුලේ අයෙකුට වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ සක්‍රිය සවන්දීම සමග ප්‍රතිචාර දැක්වීමටත් සූදානමින් සිටින කාන්තා චරිතයක් වන්න.
සන්නිවේදනය වැදගත්…
අද බොහෝ කාන්තාවන් ඔවුන්ගේ සන්නිවේදනය පවත්වා ගෙන යන්නේ මුහුණු පොත සහ වෙනත් සමාජ මාධ්‍ය ජාලාවලින් පමණි. මුහුණු පොතට අදහස් ලියමින් පණිවිඩ හුවමාරු කරන ඔවුන් නිවසේ සිටින මව්පියන් සමග හෝ සැමියා සමග කිසිදු ලෙසින් වාචික සන්නිවේදනයක් පවත්වන්නේ නැත . මේ නිසා ඇය පවුලෙන් විතැන් වුණු හුදෙකලා චරිතයක් බවට පත්වෙනු ඇත. එපමණක් නොව ඇගේ සමීපබව ගිලිහී යෑම නිසා දූ දරුවන්ද හුදෙකලා වුණු චරිත ලෙසින් වර්ධනය වීම අද දවසේ සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව තිබේ.
නමුත් බිරිඳක, මවක ලෙසින් ඔබට වගකීම් සම්භාරයක් ඇත. ඒ සියලු දෙය වෙනුවෙන් පවුල අතර පවත්නා සන්නිවේදනය ඉතාම වැදගත් . උදේ පාසල් යන්නට සූදානම් වී දරුවා කොපි පොත, පෑන, පැන්සල ඉල්ලා සිටින්නේද ඔබ සහ පවුල අතර පවත්නා දුර්වල සන්නිවේදනය නිසාම බැව් සමහර විට ඔබ නොසිතනු ඇත. ඔවුන්ට අවශ්‍ය දේ ගැන දරුවන්ගෙන් ඔබ විමසා දැනගත යුතුය. ඒ වගේම දෛනික අවශ්‍යතාවයන් ගැන කල්තබා දැනුවත් කිරීමක් ඇති වෙන්නේ පවුලක් තුළ ක්‍රියාකාරී සන්නිවේදනයක් පැවැතුණොත් පමණි.
සාකච්ඡාව ඉතා වැදගත්…
පවුලක් වුණොත් සාකච්ඡා මණ්ඩපයක් අවශ්‍යයි. ඒ මණ්ඩපයේ සම්බන්ධීකාරක පුරුක විය යුත්තේ මවයි. ඇය දරුවන්ට එක් පාර්ශ්වයකින් සහ සැමියාට අනෙක් පාර්ශ්වයෙන් වගකිව යුතු චරිතයකි. ඇගේ හෝ සැමියාගේ මව්පියන් එකට එක්ව වාසය කරන්නේ නම් ඔවුන් ගැනත් ආරක්ෂාව සහ රැකවරණය ලබා දීම කාන්තාවගේ යුතුකමයි. ඒ නිසා පවුලක් තුළ සාකච්ඡාව බෙහෙවින් වැදගත්. මේ සඳහා බොහෝ විට ආහාර ගන්නා කාලය වෙන් කර ගැනීමට පුළුවන්. එක වහලක් යට ජීවත් වෙන සියලු දෙනා එකම වේලාවට එකම මේසයක ආහාර ගන්නේ නම් තොරතුරු සාකච්ඡාවට ගැලපෙනම තැන එතැනයි. නමුත් අද බොහෝ පවුල් තුළ එකට එක්ව ආහාර ගැනීමේ පුරුදු පවා ගිලිහී ගොස් ඇත. ඒ නිසාම තොරතුරු සාකච්ඡා කිරීමට ගැලපෙනම භූමිකාව නොදැනීම දුරස්ව ගොස් ඇති නිසා පවුලක් තුළ කාන්තාවගේ වැදගත්කම ගැනත් අමතක වී යන තැනටත් කරුණු යෙදී තිබේ.
සමාජ සම්බන්ධතාවයන් යහපත්ව තබා ගන්න
ඔබ නිවසේ ගේට්ටුවෙන් ඉදිරිය බලන්න. ඒ නිවස සමග සමහර විට ඔබ අමනාපයෙන් ඇති. පිටුපසින් සිටින්නේද අමනාප සිත් ඇත්තන්ය. මේ අමනාපයන්ට හේතුව කුමක්ද? එකක් කොස් කොළ ඔබේ මිදුලට වැටීමයි. එසේත් නැත්නම් ඔබේ වැට මායිමේ තිබෙන පොල් ගසක ගෙඩි ඒ පැත්තට වැටීමයි. එසේත් නැත්නම් ඔබේ බල්ලා ඔවුන්ගේ ගෙවත්තේ මලපහ කිරීමයි. මෙවැනි සිදුවීම් අපට මනා සේ කළමනාකරණය කර ගැනීමට හැකියාවක් තිබෙනවා. එසේ තිබියදී කොස් කොළයට, පොල් ගෙඩියට අසල්වැසියන් සමග අමනාප සිත් ගොඩනගා ගැනීම අවශ්‍ය නැහැ.
එදා වැඩිහිටි මව්පියන් අපට උපදෙස් දුන්නේ හදිසියේවත් ලෙඩක් දුකක් මරණයක් වුණොත් දුර සිටින නෑදෑයින්ට වඩා අසල්වැසියාගෙන් මුලින්ම උදව් ලැබෙන නිසා සාමයෙන් සමගියෙන් ජීවත් වීමේ අවශ්‍යතාවයයි. නමුත් අද ඒ වෙනුවෙන් විකල්ප තිබෙන බැව් ඔබ කියනු ඇත. ලෙඩක් වුණොත් ඇම්බියුලන්ස් එක නිවසට, මරණයක් වුණොත් මල් ශාලාවේ තැබීම… මේ සියල්ල වෙනුවෙන් අවශ්‍ය මුදල් මිස මිනිසුන් නොවන බැව් ඔබ කිව්වත් මිනිසෙකුගෙන් මිනිසෙකුට ලැබෙන සහයෝගය වචනයෙන් විස්තර කිරීමට නොහැකිය. එසේ උදව් ලබන්නේද ඔබ ජීවත් වෙන රටාවට ලැබෙන ප්‍රතිචාර අනුවයි.
එසේ නම් කාන්තාවක ලෙසින් ඔබ පවුලක, ගමක වැදගත් චරිතයක් වුණොත් එහි අනුසස් නිසා රටක් ලෝකයක් සුවපත් වෙන බැව් අවසාන වශයෙන් කිව යුතුමය .
