පුංචි පැටවුන්ගේ වැඩයි.. ගෙදර වැඩයි… රැකියාවේ වැඩයි.. මේ සේරමත් සමඟ හැලහැප්පෙන අපේ දෙමාපියෝ කරන්නෙත් ලෙහෙසි පහසු යුද්ධයක් නොවෙයි. ඉතින් ඔය අතරේ පුංචි පැටවුන්ගේ අතෝරක් නැති ප්‍රශ්නවලට පිළිතුරු දීමත් අපි හිතන තරම් පහසු කාර්යයක් නොවෙයි…
පොඩිත්තන්ගේ ප්‍රශ්නවලට වැඩිහිටියන්ට පිළිතුරු දීම අපහසු ඇයි…?
අද වැඩිහිටියන් වුණත් අපේ පොඩි කාලය අපට මතක නැහැ. මේ වගේම ප්‍රශ්න අපටත් නැගෙන්න ඇති. නමුත් අද පොඩි පැටියා අහන ප්‍රශ්නවලට අපි පිළිතුරු දෙන්න බොහොම උදාසීනයි. ඊට එකම හේතුව තමයි වැඩිහිටි ලෝකය ඉදිරියේ පැටියාගේ ප්‍රශ්න වැදගම්මකට නැතුවා වගේ අපට දැනෙනවා.
ඒ විතරක් නොවෙයි…
සමහර විට පුංචි දරුවෝ අහන ප්‍රශ්නවලට පිළිතුරු දීමත් පහසු නැහැ. “අම්මේ අර වළාකුළ යන්නේ කොහාටද… වැස්ස වහින්නේ කොහොමද…?” ඉතින් මේ වගේ වෙලාවක ජල චක්‍රයේ පාඩම දරුවාට kියා දෙන්න තරමට ඔවුන්ගේ මනස මෝරා නැහැ. සමහර දෙමාපියන් නම් “ඉර මාමා පොළොවේ වතුර අරගෙන ගිහින් ආයෙමත් ඒවා පොළොවට වැස්ස වගේ එවනවා..” පුංචි මනසට යාන්තම් අදහසක් ලැබෙන විදිහට කියා දෙනවා.
අවසානයකුත් නැහැ.
පුංචි දරුවන්ගේ ප්‍රශ්නවලට අවසානයක් නැහැ. ඔවුන් ප්‍රශ්නයකින් තවත් ප්‍රශ්නයක් පටන් ගන්නවා. “අම්මේ මං මෙහාට කොහොමද ආවේ…” “දෙවියෝ ගෙනත් දුන්නා..” “ඉතින් ඒ දෙවියෝ කෝ..?” “එයා දිව්‍ය ලෝකේ..” “දිව්‍යලෝකය කොහෙද තියෙන්නේ…?”
ඔන්න ඉතින් උත්තර කෝ.. උත්තර දුන්නත් එතැනින් නවතින්නේ නැහැ. තවත් ප්‍රශ්නයකට එතැනින් ආරම්භයක් දරුවාට තියෙනවා.
පුංචි අයට මෙච්චර ප්‍රශ්න ඇයි…?
පැටියා වයසින් පුංචි වුණත් ඔවුන් ලෝකය දිහා බලමින් අත්දැකීම් සහ දැනුම උපයා ගන්නවා. දරුවන්ගේ ලෝකය බොහොම කුතුහලයෙන් යුක්තයි. ඒ කුතුහලය නිසා ප්‍රශ්න පිට ප්‍රශ්න නගන්න ඔවුන් කැමතියි. එක අතකට අපටත් පුංචි දවස්වල වැස්ස, අව්ව, දවල්, රාත්‍රිය ගැන පුංචි ප්‍රශ්න හිතට නැඟුණා වගේම අපේ දරුවන්ගේ හිත්වලටත් ඒ වගේ කුතුහලයෙන් දැවෙන දේවල් තිබෙනවා.
මේ ප්‍රශ්න අහන වේලාවට ඔබ මොකද කරන්නේ..?
පුංචි පැටියා ප්‍රශ්න අරගෙන අම්මා ළඟට එනවා.. “යන්න පුතා තාත්තා කාමරේ ඉන්නවා.. ගිහින් අහගන්න.” පැටියා තාත්තා ළඟට යනවා. “තාත්තා වැඩක්.. පුතේ අක්කාගෙන් අහන්න.” දැන් අක්කා ළඟට යනවා. අක්කා කියන්නෙත් පැටියාට වඩා අවුරුදු දෙක තුනක වෙනසක් නේ.. ඉතින් එයාගේ ප්‍රතිචාරය අර දෙන්නාටම වඩා වෙනස්.. “අම්මේ මේ මල්ලිට යන්න කියන්න මට වැඩක් කර ගන්න නැහැ.” සමහර විට අක්කාගෙන් ගුටි පාරකුත් කාලාම හැරෙන්නත් වෙනවා.
තවත් වේලාවක ඔබ කේන්තියෙන් හෝ වැඩ අධික වෙලාවක් නම් “යනවා යන්න.. මල විකාර අහගෙන එනවා..” කියමින් ඔබ දරුවා පලවා හරින්න පුළුවනි.
එහෙම වුණාම මොකද වෙන්නේ…?
ප්‍රශ්නයක් ඇහුවොත් ලැබෙන පිළිතුර දන්නා නිසා කිසිම දෙයක් ගැන විමසිල්ලක් දක්වන්නේ නැහැ. ඒ නිසා දරුවාගේ විචක්ෂණ බවත් නොදැනීම බිඳ වැටෙනවා. ඒ වගේම කුතුහලයෙන් යම් යම් දෑ සොයන විමසන හැකියාවටත් ඉඩ නැති වෙනවා. ඒවා ගැන විමසිලිමත් වුණත් ඵලක් නොවන බව දරුවා දන්නා නිසා නිශ්ශබ්ද වෙනවා.
දරුවන් ප්‍රශ්න අහන්නේ ඇයි…?
දරුවන්ට ප්‍රශ්න ඇසීම අහිංසක විනෝදයක්.
පුංචි හිත් කොහොමත් අහිංසකයි. ඉතින් ඒ අහිංසක හිතට නැගෙන්නෙත් අහිංසක සිතුවිලි. මේ වගේ සිතුවිලි නැඟුණාම ඒවා ගැන විමසීම දරුවන්ට විනෝදයක්.
දරුවන් අධ්‍යාපනයක් ලබනවා.
මේ අහන ප්‍රශ්නවලත් විද්‍යාත්මක පැත්තක් තියෙනවා. බළලෙක් පුරු පුරු ගාන්නේ ඇයි කියලා අහද්දී අපි දරුවාට කියා දෙන්නේ “පැටියාට බළල්හාමි ආදරෙයි නේ… ඒකයි.” මෑතකදී සිදු කරන ලද පර්යේෂණයක් මඟින් පෙන්වා දෙන අන්දමට බළලුන්ගේ මෙම පුරු පුරු ගෑමේ යාන්ත්‍රණය සමඟ තුනී අස්ථි සමූහයක් සම්බන්ධව තිබෙනවා. මෙම අස්ථි බළලුන්ගේ හිස් කබලේ පාදයේ සහ දිවේ මුල අතර පිහිටා ඇත. බළලුන්ට යම් උත්තේජනයක් ඇති වුණ විට මුලින් සඳහන් කළ මාංශ පේශි හැකිලෙන අතර ස්වර තන්තු කම්පනය වෙනවා. එහෙම නම් බළලුන් ආදරයට පුරු පුරු ගානවා කියන කියමනත් නිවැරදියි නේද…? ඉතින් ඔබ දරුවාට මේ කියාදෙන්නේ පුංචි පහේ විද්‍යා පාඩමක් නේද..?
කථනය දියුණු වෙනවා.
සාමාන්‍ය ගැමි වහරට වුණත් කියනවානේ ගේ දොරකඩ ගස්වල ඵලදාව වැඩිවෙන්නේ කටහඬ ඇහෙන නිසා කියලා. ඉතින් අපේ පැටියන්ටත් එහෙමයි. කතා කරන තරමට ඔවුන්ගේ කථන හැකියාව දියුණු වෙනවා. මනෝවිද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට දරුවන්ගේ කතාව කියන්නේ ඔවුන් තමන්ගේ කටහඬ සමඟ කරන ක්‍රීඩාවක්.
හැබැයි ප්‍රශ්නය මෙතැන..
කථනය දියුණු වුණත්, දරුවාට කටහඬ සමඟ මෙය ක්‍රීඩාවක් වුණත් එය ඒකපාර්ශවීය වෙන්න බැහැ. පැටියාට අහන ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍ය වෙනවා. සන්නිවේදනය දෙපැත්තටම සාර්ථක අන්දමින් ගලාගෙන යෑම අවශ්‍යයි. බබා ප්‍රශ්න අහනවා… අම්මා/තාත්තා/වැඩිහිටියෙක් උත්තර දෙනවා. මේ ගනුදෙනුව දෙපැත්තටම හොඳින් ගලාගෙන යන තරමටම ප්‍රතිඵල සාර්ථකයි. එහෙම නැතුව දරුවාගේ ප්‍රශ්න ඉදිරියේ ඔබ නිරුත්තර වුණොත් කථනය වෙතින් දරුවා ලබන වාසි සියල්ලම ඔවුන්ට අහිමි වේවි.
දරුවන් ප්‍රශ්න නගන විට දෙමාපිය ප්‍රතිචාරය කොහොමද..?
පශ්නයක් අරගෙන දරුවා ඔබ වෙතට පැමිණෙන්නේ ඔවුන්ගේ ලොකුම විශ්වාසවන්තයා ඔබ නිසයි. එවැනි වේලාවකදී දරුවා ආදරයෙන් පිළිගන්න.
දරුවාට ගැලපෙන අන්දමින්, ඔබේ දැනුමේ තරමින් ප්‍රශ්නයට ගැලපෙන පිළිතුරක් ලබා දෙන්න.
පැහිච්ච ප්‍රශ්නත් අරගෙන පැමිණියොත්.. “මොනවාද මේ පැහිච්ච කතා” කියමින් පලවා හරින්න එපා. කාලය සමඟ දරුවා ඒ ගැන අවබෝධය ලබාවි. නමුත් තැනට ගැලපෙන සේ යම් පිළිතුරක් ලබා දෙන්න.
හය හතර තේරෙන දරුවෙකුට නම් ඔවුන් නගන ප්‍රශ්නවලට සම්බන්ධ පොත්පත් හෝ තව තවත් දැනුම් ද්‍රව්‍ය ලබා දෙන්න. උදාහරණයක් විදිහට සමහර දරුවන් කුඩා කල පටන්ම තාරකා නිරීක්ෂණයට කැමැත්තක් දක්වනවා. එවැනි අවස්ථාවන්හිදී තරු රටා ගැන පෙන්වන වීඩියෝ පට වැනි දේ ලබා දිය හැකියි. අවස්ථාවක් ලද තැනක ග්‍රහලෝකාගාරය වැනි නිරීක්ෂණ මධ්‍යස්ථාන වෙත දරුවා කැටුව යන්නත් ඔබට අවස්ථාව තිබෙනවා. සමහර විට අද මේ තරු ගැන විමසන පොඩිත්තා අනාගත තාරකා විද්‍යාඥයෙකු වෙන්නත් බැරි කමක් නැහැ.
