රූපවාහිනියේ යන ඕනෑම චිත්‍රපටයක් බලන්න අපේ පුංචි දරුවෝ පුරුදු වෙලා. මේ නිවාඩු කාලෙත් එක්ක වැඩිහිටි අපේ වගේම පුංචි දරුවන්ගේත් කාලසටහන් ටිකක් වෙනස්. එහෙමයි කියලා බැහැ, වැඩිහිටියන් විදියට අපි අපේ දරුවන්ට ඕනෑම දෙයක් නරඹන්න අවස්ථාව ලබා දීලා හරියන්නේ නැහැ. දරුවන් වෙනුවෙන් අපි තෝරා දෙන හැමදේකින්ම වගේම අපේ දරුවාට ප්‍රයෝජනයක් තිබිය යුතුයි. බොහෝ දෙමාපියන් සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ලබා දීමෙන් දරුවා ලබන පෝෂණය ගැන සිය දහස් වරක් සිතුවත් දරුවා නිරාවරණය වන අනවශ්‍ය වීඩියෝ පට චිත්‍රපට නිසා දරුවාගේ මනසට සිදුවන හානිය ගැන හිතන්නේ නැහැ. අන්න ඒ නිසාම අපි හිතුවා දරුවන් වෙනුවෙන් නිර්මාණය වන ළමා චිත්‍රපට කිහිපයක් තෝරාගෙන ඒවා දරුවාගේ මානසික දියුණුවට බලපාන ආකාරය ගැන කතා කරන්න
1.හෝ ගානා පොකුණ:
මෑත කාලයේ බොහොම ජනප්‍රිය වූ දරුවන් එක් වතාවකට වඩා බලන්නට ප්‍රිය කරන හෝ ගානා පොකුණ පරිකල්පනය ගැන හොඳ අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබා දෙනවා. ජීවිතයේ කිසිම දිනක නොදැකපු දෙයක් ගැන හිතමින් හීන දකිමින් ඒ කරා ලංවීම ඒ දරුවන් තුළ ගොඩනැගෙන ආසාව උනන්දුව මේ කතාව තුළ ඉතාමත් සුන්දර විදියට කතාවෙනවා. ඉතා කැපවීමෙන් දරුවන්ගේ මේ හීනය සැබෑ කරගන්නට සහය වෙන ඉතාම පරමාදර්ශී චරිතයක් වන ගුරුවරිය මේ දරුවන්ගේ මෙන්ම ගම්වාසීන්ගේ ජීවිතත් වෙනස් කිරීමට පාදක වන ආකාරය මේ තුළින් විස්තර කරනවා.
2.UP:
මේ කතාවේ ඉන්න ඉතා දැඩි දෘඪ අයෙක් වූ වයෝවෘද්ධ පුද්ගලයා තම බිරිඳ මියයාමෙන් පසුව ඇයගේ සිහිනයක්ව තිබුණු සුන්දර ස්ථානයකට යාමට තීරණය කරනවා. ඒ රසල් නම් වූ බාලදක්ෂයෙකු සමග. රසල් ඉතා ඉතා මෘදු අයෙක්. මේ වයෝවෘද්ධ පුද්ගලයා රසල් නම් වූ බාලදක්ෂයා හේතුවෙන් වෙනස් වෙනවා. පවුලක සැනසීමට නම්‍යශීලී බව බොහොම වැදගත් බවත් අලුත් අලුත් දේ පිළිබඳව දැනගන්න ඒ දේවල් බොහෝ සෙයින් වැදගත් වන බවත් මේ කතාව තුළින් කියවෙනවා. සැබෑ ආදරය, සැබෑ සතුට කියන්නේ අපි යන විනෝද ගමන් ගණනවත් අපි ලබාගන්නා ඡායාරූප ගණනවත් නොවන බව වගේම එය අප එක්ව ගත කරන සුන්දර අවස්ථා මගින් අපට හිමිවන බව මේ කතාවෙන් පැහැදිලි කෙරෙනවා.
3. Inside out:
චිත්‍රපටය පුරාම මනෝවිද්‍යාවේ ලක්ෂණ විහිදී ඇති මේ නිර්මාණයේ වයස අවුරුදු 11ක දියණියකගේ හිතේ හැඟීම් ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරනවා. මේ දියණියගේ හිතේ ඇතිවන හැඟීම්වලට ඇයගේ හිස තුළ එක එක ආකාරයේ චරිත ගොඩනගා ඇති අතරම ඇය තමන්ගේ හැඟීම් අවබෝධ කරගනිමින් ඒවා පාලනය කරන ආකාරය ඉතාමත් රසවත්ව මේ කතාව පුරා දිගහැරෙනවා. මේ නිර්මාණය මගින් දරුවන්ට හැඟීම් පිළිබඳව අවබෝධය වගේම හැඟීම් පිළිබඳ බුද්ධිය වැඩි කරගන්න අදහසක් ලැබෙනවා. ඒ වගේම තමා ගැන සිතන ආකාරයටම තවත් කෙනෙක් ගැන හිතන්න ඒ කියන්නේ සහකම්පනය වර්ධනය වීමටත් මේ චිත්‍රපටය උදව් වෙනවා.
4.දංගල්:
මෙම ඉන්දියානු චිත්‍රපටය කාන්තාවන් හා පිරිමින් අතර බෙදී ගොස් ඇති හැකියාවන් පිළිබඳ වූ අදහසට අභියෝග කරන්නක්. සමාජ රාමුවෙන් පිටතට යමින් ජීවිතය දිනිය හැකි බව මේ චිත්‍රපටය හරහා කියාදෙනවා. ඒ විතරක් නෙවෙයි අපේ දීර්ඝකාලීන හොඳම ගුරුවරුන් දෙමාපියන් බවත් මේ තුළ මනාව කියවෙනවා. ඒ අත්දැකීම් සමගින් ප්‍රවීණ මල්ලවපොර ශූරයෙක් තමන්ගේ දියණියන් තම ක්‍රීඩාවෙන් ජයග්‍රාහකයන් බවට පත්කරන ආකාරය චිත්‍රපටය පුරා ඉතාමත් සිත්ඇදගන්නා සුලු අයුරින් පෙන්වනවා.
5.Paddington:
කැලයේ ජීවත් වුණු වලස් පැටියෙක් නගරයට ඇවිත් සාමාන්‍ය මිනිස් පවුලක් එක්ක ජීවත් වෙන කතාවක් ඇතුළත් මේ කතාවෙන් අවංකකම නිසා අමාරුවේ වැටුණත් දීර්ඝකාලීනව එය ලොකු යහපතක් වන බවත් තමාට යමෙක් යම් උදව්වක් කළහොත් ඒ සඳහා කළගුණ සැලකීම ඉතා වැදගත් යන ආදර්ශයක් දරුවන්ට මේ නිර්මාණය හරහා කියා දෙනවා.
6.Ratatouille:
මේ කතාවේ ඉන්නේ ඉහළ පෙළේ හැකියාවක් ඇති සූපවේදී මීයෙක් ගැන. පැරීසියේ ඉන්න මේ මීයාට කෑම හදන්න පුළුවන්. ලොව ප්‍රසිද්ධ අවන්හලක ප්‍රධාන සූපවේදියා වෙන්නත් මේ මීයාට අවස්ථාව ලැබෙනවා. මෙය සත්‍ය විය හැකි කතාවක් නොවුණත් පරිකල්පනය හරහා විෂමතා පිළිගැනීමට දරුවන් උනන්දු කිරීමත් සුදුස්සාට සුදුසු තැන ලැබිය යුතු බවත් මේ හරහා කියවෙනවා. සත්වයෙක් වුණත් දක්ෂතාවලට තැනක් ලැබීම ගැනත් චිත්‍රපටය තුළින් කියවෙනවා.
7.The blind side:
අකුරු ලියන්න කියන්න අපහසු ඉගෙනගන්න බැරි දුක්ඛිත සමාජ පරිසරයක ජීවත් වුණු දරුවෙක් තමන්ගේ වාසනාව නිසා අලුත් පවුලකට එකතු වෙලා එයාගේ සැඟවුණු හැකියාවන් සොයාගන්න බව මේ කතාවේ කියනවා. මේ දරුවාගේ කුඩා විය ගැන මේ චිත්‍රපටයේ පෙන්වන ආකාරය දුක්ඛිත වුවත් අනාගතය ගැන කියද්දි දැනෙන සතුට අපමණයි. ඉලක්කම් අකුරුවලට එහා ගිය බහුවිධ දක්ෂතා බහුවිධ බුද්ධීන් බවත් සමාජ පරිසරය මත කොයිතරම් දුරට දේවල් වෙනස් වෙනවාද කියාත් මේ චිත්‍රපටයෙන් කියවෙනවා.
8.සූරිය අරණ:
ඉතාමත් විවිධ අරමුණු හැඩතල ඇති පරිසර දෙකක දරුවන් දෙදෙනෙක් මිත්‍රත්වයක් ගොඩනඟා ගන්නා ආකාරයත් මිත්‍රත්වයන් තුළින් අපි අනුකූල විය යුතු සහ නොයුතු දේවලුත් ඇති බවත් මේ නිර්මාණය හරහා මනා ලෙස පෙන්නුම් කරනවා. මේ මගින් ඔබේ දරුවාටත් සැවොම ඇසුරු කළද ලබාගත යුත්තේ මොනවාද නොගත යුත්තේ මොනවාද ලෙස කොටස් දෙකක් ඇති බව අවබෝධ වනවා.
9.Babe:
පුංචි ඌරු පැටියෙකුගේ කතාවක්. මේ ඌරු පැටියා බැටලුවන් බලාගන්න බල්ලන් සමග එක්ව ඉන්න ගමන් තමන්ට ජානවලින් ලැබී නැති අලුත් හැකියාවක් හොයාගෙන බැටලුවන් පාලනය කරන්න ඉගෙන ගන්නා ආකාරය තමයි මේ කතාවේ කියවෙන්නේ. ඒ වගේම තමන් වගේම අනුන්ටත් දුක දැනෙන බවත් අනුකම්පා කළ යුතු බවත් මේ කතාවෙන් දරුවන්ට කියා දෙනවා.
10.Queen of Katwe:
උගන්ඩාවේ ඉතා දරිද්‍ර පවුලක ඉපදිලා තම පියාණන් පවා නැති කාලෙක තමන්ගේ හැකියාව හොයාගෙන ඒ පසුපස ගොස් සාර්ථකත්වය ලබාගන්නා ගැහැනු දරුවෙකුගේ කතාවක් මේ චිත්‍රපටය තුළින් කියවෙනවා. ගුරුවරයෙකුට සිය විෂය නිර්දේශයට අදාල අධ්‍යාපනයට එහා යමින් දරුවෙකුගේ ජීවිතය ලස්සනට වෙනස් කළ හැකි බව මේ කතාවේ කියවෙනවා. මැය පසු කලෙක උගන්ඩාවේ ජාතික චෙස් ශූරියක් වූ තැනැත්තියක පිළිබඳ සත්‍ය කතාවක්.
11.The Jungle Book:
ජනප්‍රිය Jungle Book කෘතිය පාදක කරගනිමින් නිපදවුණු මේ චිත්‍රපටයේ මෝගලි කියන දරුවා තමන්ට වනාන්තරයේදී එරෙහි වන කොටියා සමග ගැටී දැඩි ආත්ම විශ්වාසයකින් ජය ගන්න කතාවක් ඇතුළත්. යමක් උපක්‍රමශීලීව ජය ගත හැකි බව මේ කතාවෙන් කියවෙනවා.
12.Children Of Heaven:
ඉරානයේ සැකසුණු මේ කතාව පුරාම දිවෙන්නේ තමා අතින් නැති වූ තම නැඟණියගේ සපත්තු කූට්ටම වෙනුවෙන් සපත්තු දෙකක් දිනා ගැනීම වෙනුවෙන් අයියා කෙනෙක් කරන කැපවීමයි. මේ තුළින් සහෝදර බැඳීම වගේම අප සතු පුංචි පුංචි දේවල් රැක ගත යුතු බවත් මේ හරහා දරුවන්ට කියාදෙනවා.
13.Finding Nemo:
ලෝකය පුරාම ජනප්‍රිය චිත්‍රපටයක්. ව්‍යාපාරයක් ලෙස නිර්මාණය වූවත් මෙවැනි චිත්‍රපට මගිනුත් ලබාගත හැකි ආදර්ශ බොහෝයි. තාත්තාගේ ආදරය අම්මාට වඩා වෙනස්. තාත්තාගේ ආදරයෙන් දරුවෙක්ට ලැබිය යුතු ප්‍රවේශම, ආරක්ෂාව බැඳීම ගැන මේ නිර්මාණය තුළින් කියවෙනවා. කිසිම දේකින් නොසැලී ඉදිරියට යා යුතු බවත් මේ කතා මගින් කියා දෙනවා. දෙමාපියන් දරුවන් අතර බැඳීම කොයිතරම්ද කියා කියවෙන මෙවැනි චිත්‍රපට හරහා දරුවන්ට එවැනි බැඳීම් වටහා ගැනීමට පහසු කරනවා.
14.Rabbit Proof Fence:
ඕස්ට්‍රේලියානු කතාවක් වන මේ නිර්මාණයේ යුරෝපීයයන් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇබොරිජීනුවන් සමූලඝාතනයෙන් පසු සමහර දරුවන් ගම්වලින් ඈත් කර බලහත්කාරයෙන් කඳවුරුවල රඳවා තබාගැනීමේදී ඔවුන් ඒ තැන්වලින් පැන යාමේ සිද්ධියක් මේ නිර්මාණයට ඇතුළත්. අපි දකින ලස්සන පාරවල් ගොඩනැගිලිවලින් එහා ගිය සැබෑ ලෝකයේ කුරිරුකම් ගැන මේ නිර්මාණයෙන් කියනවා. තමාගේ පැවැත්ම වෙනුවෙන් මේ දරුවන් කළ ඉතා දැඩි සටනක් ගැනත් මේ නිර්මාණයේ කියවෙනවා.
15.තාරේ සමීන් පර්:
සැවොම කොන් කළ, ඉගෙනීමට දුර්වල බවට කියවෙන අතහැර දැමූ දරුවෙක් තම දක්ෂතාවයක් පරමාදර්ශී ගුරුවරයෙක් නිසා සොයාගනිමින් එය ඉදිරියට ගෙන ගිය ආකාරය මේ නිර්මාණයෙන් කියවෙනවා. අපි අපේ දරුවන් තුළ ඇති නිර්මාණශීලීත්වය හඳුනාගත යුතුයි. ඒ වගේම අනෙකාට ගරු කළ යුතු බවත් වටහා ගත යුතුයි. මේ සියල්ල අපේ දරුවන්ට අවබෝධ කළ යුතුයි.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය
